රුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිටියදී , '' රැන්ඩි " නැමති නිල පොලිස් සුනඛයාගේ සහාය මත , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/13 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ඉන්දියාවේ චෙන්නායි හි පදිංච් 33 හැවිරිදි ජායාරූප ශිල්පියෙකි .
ඔහු 09/13 දින උදෑසන 09.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 139 දරන ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී රැදී සිටි තිබේ.
එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) පරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමත් සමග , ඒ අසළ සේවයේ නිරත වී සිටි
" රැන්ඩි '' නැමති පොලිස් නිල සුනඛයා , එම ගමන් මල්ල ඉව කර එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට සංඥා කර තිබේ .
පොලිස් දෙපාර්තමේන්තුවේ 1603 දරන '' රැන්ඩි " මේ වනවිට සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීම් ගනනාවක් සිදු කළ ''ලැබ්‍රඩෝර් " වර්ගයයේ බල්ලෙකු වන අතර ඔහුගේ භාරකරු සහ හසුරුවන්නා ලෙස 91517 පිටවල නැමති පොලිස් කොස්තාපල්වරයා සේවය කරමින් සිටින්නේය .
ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සගවා ගෙන තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ .
මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය 09/14 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතය .