කෝටි 6ක කොකේන් සමග අත්අඩංගුවට ගත් දකුණු අප්‍රිකානුවා


රුපියල් කෝටි 60 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් දකුණු අප්‍රිකානු ජාතිකයෙකු අද (09දා) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීතිකටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම 59 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතිකයා මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන කෙන්යාවේ නයිරෝබි නුවරින් ගමන් ආරම්භ කර, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.

ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. 664 දරණ ගුවන් යානයෙන් අද උදෑසන 9.00 ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ වූ ෂැම්පු බෝතල් 02 ක් තුළ පාර්සල් 03 ක් ලෙස සකස් කර මෙම කොකේන් තොගය ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් එම  පාර්සල් තුළ කිලෝ ග්රැම් 02 යි ග්රැම් 29 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් තිබී සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම කොරෝනා වසංගත සමයේ දී වුවද, දැඩි කැපවීමකින් සිය රාජකාරී ඉටු කරමින්, කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් පිළිබඳව අවධානයෙන් සිටිමින්, මෙම මත්ද්‍රව්‍ය තොගය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගැනීම මෙම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම දකුණු අප්‍රිකානු ජාතිකයා සමග කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ. මෙම දකුණු අප්‍රිකානු ජාතිකයා සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට භාෂා ගැටළුව දැඩි ලෙස බලපා තිබේ.



Recommended Articles