කෝටි 27ක හොරොයින් කටුනායකදී අත්අඩංගුවට


රුපියල් කෝටි විසි හතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන්ට " තුවා " ( Towel ) ලෙස ප්‍රකාශ කර පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින්  11/21 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

පකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08 ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය ඉකුත් 11/10 දින ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි.

 මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබුණි .

11/21 දින රාත්‍රී මෙම ගුවන් භාණ්ඩ තොගය  නිදහස් කර ගෙන යාමට කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබේ .

එහිදී මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .

මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට පැමිණි පුද්ගලයා සහ මෙම භාණ්ඩ නිශ්කාශනය කර ගැනීමට තැත් කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු ද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඉන්පසුව මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ එසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .



Recommended Articles