කෝටි 13ක කුෂ් හා හෂීස් සමග තිදෙනෙක් අල්ලයි


රුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ  කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනකු 01/25 දින අලුයම , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් එක් අයෙකු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පෙදරේරුවරයෙකි. අනෙක් දෙදෙනා අතරින් එක් අයෙකු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . තුන් වැන්නා කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොවුන් 01/25 දින අලුයම 04.00 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ " කුෂ්" මත්ද්‍රව්‍ය  කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 394 ක් පැකැට් 10 තුළ සහ            " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 912 ක් , පැකැට් 18 ක් තුළ අසුරා සගවා ගෙන පැමිණ තිබුණි .

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනා , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .



Recommended Articles