කෝටි 13ක අයිස් මත්ද්‍රව්‍ය පෙති අත්අඩංගුවට


රුපියල් දහ තුන් කෝටි හැට හතර ලක්ෂයක් වටිනා මෙතැම්පටමයින් හෙවත් " අයිස් " මත්ද්‍රව්‍ය පෙති 13,640 ක් , නෙදර්ලන්තයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ එවා තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

ඉකුත් මාර්තු මස 04 වැනි දින නෙදර්ලන්තයේ සිට මෙම ගුවන් තැපැල් පාර්සලය මොරටුව ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට එවා තිබුණි .

මෙම පාර්සලය භාර ගැනීමට මේ වනතෙක් කිසිවෙකු නොපැමිණීම නිසා , එය විවෘත කර පරීක්ෂා කිරීමට තීරණය කර තිබුණි .

ඒ අනුව මෙම පාර්සලය අද (22දා)  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලය , ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ සහ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිට විවෘත කිරීමට ශ්‍රී ලංකා තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් කටයුතු කර තිබුණි .

එහිදී එම පාර්සලය තුළ ඇද ඇතිරිළි 07 ක් තුළ ඔතා , සගවා තිබූ මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය එක් පෙත්තක , සාමාන්‍ය වෙළෙඳ පළ වටිනාකම රුපියල් 10,000 ක් බව රේගු විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .

ඉන්පසුව මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

 



Recommended Articles