කෝටි 12ක රන් ආභරණ සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අල්ලයි


නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි දොලහකට අධික වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි , නිතර නිතර ගුවන් මගින් භාණ්ඩ මෙරටට ගෙන එන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද සමග ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ , ජංගම අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් 03/19 දින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් එක් අයෙකු 60 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් ව්‍යාපාරිකයා කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොවුන් දෙදෙනා 03/19 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර  තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විස්කි බෝතල් අසුරා ඇති පෙට්ටි වලින් එම බෝතල් ඉවත් කර මෙම ස්වර්ණාභරණ තොගය එම පෙට්ටි තුළ අසුරා  සගවා ගෙන පැමිණ තිබුණි .

කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය අතර මාළ  වළලු , කරාබු , අත් පළදනා යනාදිය තිබුණි .

රේගු නිලධාරීන් මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටියද , එම නිලධාරීන් කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබීම විශේෂත්වයකි .

           



Recommended Articles