කොළඹ වරායට ආපු නැවකින් යුරෝපයට යන්න ගිය 4ක් අත්අඩංගුවට


ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් තොගයක් යුරෝපය වෙත රැගෙන යාම සඳහා කොළඹ වරායට පැමිණ නැංගුරම් ලා තිබූ ඇමෙරිකානු නෞකාවකට හොරෙන් ඇතුළු වී , පැන යමින් සිටියදී (Stowaway ) ඊජිප්තුවේ සූවස් ඇළ ආරක්ෂක කපොල්ලෙහි දී , එම නෞකාවේ කපිතාන්වරයාට හසු වු ශ්‍රී ලාංකික තරුණයන් සිව් දෙනෙකු , එම නෞකා සමාගමට අයත් වෙනත් නැවකින් ගාල්ල වරාය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව 04/10 දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය සහ මුලතිව් යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25 , 31, 32 සහ 32 යන සීමා වල පසුවන තරුණයන් සිව් දෙනෙකි .

ඔවුන් කොළඹ වරායට 03/24 දින පැමිණ තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් එම්.වී.සී.එම්.ඒ.සී.ජී.එම්.පැනමා නැමැති නෞකාවට හොරෙන් ඇතුළු වී තිබේ .

මෙම නෞකාව 03/25 දින කොළඹ වරායෙන් පිටත්ව යුරෝපය බලා ගමන් ආරම්භ කර තිබේ .

මෙම ඇමෙරිකානු නෞකාව ඊජිප්තුවේ සූවස් ඇළ වෙත ඇතුළු කර තිබියදී , මෙම නෞකාව තුළ කපිතාන්වරයා හෝ මෙම නෞකාවේ අනෙකුත් කාර්යය මණ්ඩලය නොදන්නා ( Stowaway ) පුද්ගලයන් සිව් දෙනෙකු සිටින බවට කරුණු අනාවරණය වීමත් සමග , මෙම නෞකාවේ කපිතාන්වරයා , තම මව් සමාගම මේ පිළිබඳව දැනුවත් කර , ඔවුන්ගේ උපදෙස් පරිදි , ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන එම සමාගමට අයත්  එම්.වී.ජැක්සන් බේ නෞකාව වෙත 03/28 දින  මෙම පුද්ගලයන් භාර දී තිබේ.

ඔවුන් මෙම ශ්‍රී ලාංකික තරුණයන් සිව් දෙනා විශේෂ කුටියක රදවා තබා ගනිමින් , දැඩි රැකවල් මධ්‍යයයේ ගාල්ල වරායට ආසන්න මුහුදු තීරය වෙත රැගෙන පැමිණ තිබේ .

ඉන්පසුව මේ තොරතුර ගාල්ල වරාය ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව , ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව , ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග විශේෂ යාත්‍රාවකින් 04/10 දින සවස ගාල්ල වරාය සමීපයේ ජාත්‍යන්තර මුහුදු තීරයේ ගමන් ගනිමින් තිබූ  මෙම ජැක්සන් බේ නෞකාව අසළට ගොස් මෙම තරුණයන් පිරිස භාර ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මෙම තරුණයන් පිරිස ගාල්ල වරාය පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , ශ්‍රී ලංකාවේ ආගමන විගමන පනත යටතේ මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීම සදහා මෙම තරුණයන් පිරිස 04/11 දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය . එහිදී මොවුන්ට පමණක් නොව මොවුන්ට ආධාර , අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව ද පියවර ගැනීමට නියමිතය .

මෙම සිදුවීම ශ්‍රී ලංකා ආගමන විගමන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් බව ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය .



Recommended Articles