කොටි සංකේත යොදානොගෙන සැමරීම් සිදුකිරීමට අවසර


මැයි මස 18 වැනිදාට යෙදී ඇති 13 වන යුද සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්ථානයේදී කිසිදු අයුරකින් කොටි ත්‍රස්ත නාම හෝ සංකේතයක් හෝ යොදානොගෙන සැමරීම් සිදුකිරීමට අවසරය ඇති බවට මුලතිව් පොලීසිය විසින් එහි සංවිධායකයින්ට දැනුම් දී තිබේ.

මේ අතර මුල්ලිවයික්කාල් යුද සැමරුම් දිනයේදී කිසියම් කොටි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීම සාවාද්‍ය පුවතක් බවටත් උතුරු ප්‍රදේශයේද මේ වන විට ආරක්ෂාව තහවුරු වී මහජන සාමය සාමාන්‍ය තත්වයෙන් පවතින බවටද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මුල්ලිවයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාරකය අභියසට හෙට (18දා) දිනයේදී සියලු ජනතාවට පැමිණ යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිපත් කොට මල්පහන් දල්වා සෙත්ශාන්ති දක්වන ලෙසට උතුරේ ජනතාවට දෙමළ ජාතික සංස්කෘතික සභාව විසින් ආරාධනා කොට තිබුණි.

මැයි 12 වනදා සිට මැයි 18 වනදා දක්වා ජනසංහාර සතිය ලෙසින්ද හඳ්‍රන්වා දී තිබුණු අතර එම දිනයන්හි විවිධ පාර්සවයන් විසින් විවිධ ස්ථානයන්හි මෙන්ම මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මාරකය ඉදිරිපිටදීද යුද්ධයෙන් මිය ගිය අය සිහිපත් කරමින් මල්පහන් දැල්වීම සිදුවිය.

හෙට (18දා) දිනයේදී මුල්ලි වයික්කාල් යුදසැමරුම් භූමිය යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා සියල්ල සූදානම් කොට ඇති බවටත් හෙට දින උදෑසන 9 වන විට භූමියට පැමිණෙන ලෙසටද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් හා සංවිධායකවරුන් විසින් ජනතවගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම යුදසැමරුම් සිදුකෙරෙන ස්ථානයේ කිසියම් නීතිවිරෝධී ත්‍රස්ත සැමරුම් ක්‍රියාවක් සිදුවෙන්නේද යන්න පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන බවටත් එලෙස සිදුවන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවටද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles