කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි


කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය , කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 21 කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා ගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

මෙම ගුවන් යානය එයාර් බස් ඒ.- 321 - නියෝ ( Neo ) වර්ගයේ ඇංජින් දෙකකින් බල ගැන්වෙන  ගුවන් යානයකි . මෙහි ගුවන් මගීන් 179 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටියහ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන මෙම ගුවන් යානය 01/08 දින රාත්‍රී 06.44 ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබුණි .

එහෙත් මෙම ගුවන් යානයෙහි හයිඩ්‍රොලික් පද්ධතියෙහි හටගත් කාර්මික දෝශයක් නිසා , එහි ගුවන් යානයෙහි ගුවන්  නියමුවා කටුනායක ගුවන් තොටුපොළ පාළක මෙහෙයුම් මැදිරිය මේ පිළිබද  දැනුවත් කිරීමෙන් පසුව , යළි ගුවන් යානය ආපසු හරවා ගෙන පැමිණෙන දැනුම් දී තිබේ .

ඒ අනුව ක්‍රියාත්මක වූ ගුවන් නියමුවා 01/08 දින රාත්‍රී 09.05 ට තම ගුවන් යානය නිරුපද්‍රිතව , ආරක්ෂාකාරීව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් යානයෙහි වූ ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් කුවේට් රාජ්‍යය වෙත යොමු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles