කුවේටයේදී ප්‍රශ්නවලට මුහුණ දුන් 48ක් එයි


කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී සිය හාම්පුතුන් අතින් සහ වෙනත් ප්‍රශ්න ගැටළු වලට ලක් වී , දීර්ඝ කාළයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී  සිටි පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු 03/22 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීමට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ඇතුළු කාර්යය මණ්ඩලයත් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අවශ්‍ය කටයුතු සිදු කරමින්  මහත් වෙහෙසක් දරා කටයුතු කර තිබුණි .

මෙසේ ශ්‍රී ලංකාවට එවීමට ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු කුවේට් ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණත් , ඔවුන් අතර සිටි තිදෙනෙකුගේ ලියකියවිලි වල පැවති අඩුලුහුඬුතා මත , ඔවුන්ට 03/22 දින  ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී තිබේ .

මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි පිරිස අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු සිටි අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් වූහ.

මෙම ශ්‍රී ලාංකිකයන් වසර 04 කට අධික කාළයක් කුවේට් රාජ්‍යයේ රැදී සිට ඇති අතර , ඔවුන් සිය හාම්පුතුන්ගෙන් ඉවත්ව වෙනත් රැකියා ස්ථාන වල සේවයේ නිරත වෙමින් සිට තිබේ .

එහෙත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී සිටි අතර , පසුව ඔවුන් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ලියාපදිංචි වී සිට ඇති අතර  , ඔවුන්  තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ මෙරටට එවා තිබුණි .

 මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස 03/22 දින උදෑසන 06.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.


 



Recommended Articles