කුවේටයේ සිටි ලාංකිකයන් 28ක් මෙරටට පිටුවහල් කරයි


කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව, දීර්ඝ කාලයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින්, එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27දා) එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසක් වන අතර , එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට පොලිසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු කර තිබුණි .

මෙම පිරිස 10/27 දින උදෑසන 06.30 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ  ගෘහ සේවකයින් 04 දෙනෙකු ද සිටි අතර , මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක සිටියාය .

මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුරය , පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් වූහ .

කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවීම සිදු කෙරුණි.



Recommended Articles