කුවේටයේ සිටි ගෘහ සේවිකාවන් 32ක් පිටුවහල් කරයි


කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 32 දෙනෙකු අද අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළා විත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශ වල රැකියා කරමින් සිටින අතරතුර  තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා යෑමට තානාපති කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකි .

මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබූ කාන්තාවන් අනුරාධපුරය , වව්නියා , ගම්පහ , කින්නියා , කොළඹ , කුරුණෑගල  සහ පුත්තලම ප්‍රදේශ වල පදිංචිකාරිනියන්  වූහ .

ඔවුන් 05/16 දින අලුයම 03.10 කුවේට් රාජ්‍යයේ සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ - 9 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

කුවේට් ඩිනාර් 250 ක් වැනි වැඩි වැටුප් ලබා ගැනීමට , නීත්‍යානුකූල නොවන සම්බන්ධතා හෝ තම පෞද්ගලික නිදහස වෙනුවෙන් මෙම කාන්තාවන් පිරිස එසේ තම සේවා ස්ථාන වලින් පළා විත් තිබුණි .

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර , මැදිහත් වී කටයුතු කිරීමෙන් පසු මෙම පිරිස තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ .

මේ වනවිට 30,000 ක පමණ පිරිසක් සිය ගිවිසුම් ගත සේවා ස්ථාන වලින් පළා විත් , වීසා නොමැතිව , පිටස්තර ප්‍රදේශ වල රැකියා කරමින් ජීවත් වන බවට තොරතුරු වාර්තා වී තිබේ .

එසේම  මෙම වසරේ ජනවාරි සිට මැයි මාසයේ මුල් සතිය වනවිට කුවේට් රාජ්‍ය වෙත ශ්‍රී ලාංකිකයන් රැකියා සොයා 84,000 ක පමණ පිරිසක් පැමිණ ඇති බවට ද එරට ආගමන විගමන නිලධාරීන් උපුටා දක්වමින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය ප්‍රකාශකවරයෙකු පැවසීය .

 



Recommended Articles