කුවේටයේ සිට ලාංකිකයන් පිරිසක් කටුනායකට


කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් අද (19) දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ .

මෙයින් පළමු කණ්ඩායම ලෙස කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 287 ක් පමණ රැගෙන කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1451 දරන විශේෂ ගුවන් යානය අද දින රාත්‍රී 6.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් 300 ක පමණ පිරිසක් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද , ගුවන් යානය පිටත්වන මොහොත වනවිට විට කුවේට් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ 287 ක පමණ පිරිසක් බවද වාර්තා වේ .

මෙහි දෙවන කණ්ඩායම ලෙස කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 162 ක් රැගෙන කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1453 දරන ගුවන් යානය අද දින මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

කුවේටයේ මේ ආකාරයට නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,000 ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙන අතර , ඔවුන්ට රටින් පිටවීම සදහා කුවේට් රජය විසින් ලබා දී තිබූ පොදු ක්ෂමා කාළය උපයෝගී කර ගනිමින් මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ .

ඔවුන්ට මෙසේ  ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දී තිබුණි .

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව විෂබීජහරණය කිරීමට ලක් කර , ඔවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බලා , නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණි.

මේ අතර ඉන්දියාවේ බැංගලෝර් නුවර , කටාර් රාජ්‍යය වෙත යෑමට නොහැකිව එහි රැදී සිටි ගුවන් මගීන් 50 ක් පමණ රැගෙන ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9525 දරන ගුවන් යානයෙන් අද දින රාත්‍රී  6.25 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

පසුව මෙම සංක්‍රමණික  මගීන් සියලු දෙනා විශබීජ හරණය කිරීමට ලක් කිරීමෙන් අනතුරුව අද දින රාත්‍රී 8.30 ට පමණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් දෝහා වෙත පිටත් කර හරිනු ලැබීය .

 

 



Recommended Articles