කුරුණෑගල ඇතා ගලට ගිනි තැබූ පෙම්යුවල රිමාන්ඩ්


නොසැලකිලිමත් ලෙස ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළක් හෙට (21) දින  දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා ඊයේ (19) නියම කළේය.

මහව නාගොල්ලාගම පදිංචි යුද හමුදා සෙබලෙකු (28) සමඟ ඔහුගේ පෙම්වතිය බව කියන මහනුවර වත්තේගම ප්‍රදේශයේ තරුණියක (20)  එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

මෙම යුවළ විසින් කරන ලද ගිනි තැබීම කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සාමාජිකයන් සහ ⁣කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන  නිවා දැමීම හේතුවෙන් ඇති වීමට ගිය මහා විනාශයක් වළකාගත හැකිවී තිබේ.

 වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතුගල මුදුනට පිවිසීමට තනා ඇති ඉපැරැණි ගල් පඩි පිවිසුමේ මැද කොටසේ මෙම ගින්න හටගෙන තිබුණි.

සැකකාර යුවළගේ නොසැලකිලිමත්කම නිසා මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සහ සුළඟ හේතුවෙන් එම ගින්න වළක්වා ගත නොහැකිව පැතිර ගියානම් ඇතුගල ප්‍රදේශය සහ කුරුණෑගල නගරාසන්නයේ ප්‍රදේශ ගණනාවක්ම ගින්නට හසුව බරපතළ විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය සඳහන් කළේය. එසේම ඇතුගල මුදුනේ ඉදිකර තිබෙන බුද්ධ ප්‍රථිමාවට සහ දුරකථන සබඳතා මධ්‍යස්ථානයටද හානියක් වීමට ඉඩ තිබූ බවද පොලීසිය පැවසීය.

පෙම්වතා දුම් පානයට ඇබ්බැහිවූ අයෙකු වන බැවින් දුම්වැටි දල්වා ගැනීමට යොදාගත් ගිනි පෙට්ටිය ගෙන ඊට විරෝධය පළ කිරීමක් ලෙස ගිනි කූරු එකින් එක දල්වා ඉවතට දැමූ බව අත්අඩංගුවට ගත් පෙම්වතිය පොලීසියට පවසා ඇත. දල්වන ලද ගිනිකූරු ඇතුගල මුදුනේ තිබෙන වියලි තණකොළ මතට වැටී ක්ෂණයකින් ගින්න පැතිර ගොස් තිබේ.

පෙම්වතා පැතිර යන ගින්න නිවා දැමීමට උත්සාහ කළද එය නොහැකිවී තිබේ. පසුව ඇතුගලට පැමිණ සිටි පිරිස් මේ බව කුරුණෑගල නාගරික කොමසාරිස් ඒ.බී.සී.ආලෝක බණ්ඩාර මහතාට සහ පොලීසියට දැන්වීමෙන් පසුව ඔවුන්ගේ මෙහෙයවීමෙන් පැතිර යමින් තිබූ ගින්න මැඩ පැවැත්වීමට හැකිවී තිබේ. ගලේ බෑවුම් සහිත එම ප්‍රදේශයට ගිනි නිවීම් ඒකක රැගෙන යාමට නොහැකිවූ බැවින් ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්ට ගින්න නිවීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වුහ.

ගින්න ඇති කිරීමට සම්බන්ධ යුවළ එම ප්‍රදේශයෙන් පලා යමින් සිටියදී ඔවුන් පිළිබඳව ජනතාවගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles