කැලණි ගඟේ ජලයේ තත්ත්වය සුරක්ෂිතයි


කැලණි ගඟේ ජලයේ තත්ත්වය සුරක්ෂිත බවත්, එය නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බවත් තහවුරු කරගෙන ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කැලණි ගඟේ ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසු වී ඇති බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ජල සැපයුම මේ වනවිට යළි ආරම්භ කර  ඇතැයිද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

ඊයේ(24) රාත්‍රී 11.30ට පමණ අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර ආශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් කිසියම් රසායනික ද්‍රව්‍යයක් පරිසරයට මුසු වී ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් ලැබී තිබුණි.

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින්, එම දැනුම්දීම ලැබුණු වහාම අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර දෙකෙහිම ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඉන් අනතුරුව සිදුකළ විධිමත් රසායනාගාර පරීක්ෂණ මගින් කැලණි ගඟේ ජලයේ තත්ත්වය සුරක්ෂිත බවත්, එය නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බවත් තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය සහ අදාළ ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන් අද (25) අලුයම 4.30ට පමණ අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ජල සැපයුම් කටයුතු නැවත ආරම්භ කර ඇත.

මේ වනවිට ජල සැපයුම යථා තත්ත්වයට පත්ව ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

එමෙන්ම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු නවීන රසායනාගාර මගින් ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පරීක්ෂා කිරීම සඳහා ජල සාම්පල නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරමින් පවතින බවද මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles