කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් යානය නැවතත් කටුනායකට


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්මික දෝශයකට ලක් වී ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබූ ගුවන් යානය 06/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මෙම ගුවන් එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වූ අතර එය ගුවන් මගීන් 93 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු රැගෙන ඉකුත් 06/05 දින අලුයම 01.45 ට කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

එම ගුවන් ගමන අතරතුර ඉන්දුනීසියානු ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබියදී මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වූ අතර එනිසා එරට කුඩා ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් වන මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමකට ලක් කර තිබුණි.

පසුව මෙම ගුවන් යානය එම ගුවන් තොටුපොළ තුළ අලුත්වැඩියා කර ගැනීමට පහසුකම් නොතිබීම නිසා 06/06 දින පස්වරු 01.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් පිරිසක් අවශ්‍ය අමතර කොටස් ද රැගෙන විශේෂ ගුවන් යානයකින් මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබුණි.

එම ඉංජිනේරුවන් පිරිස මෙම ගුවන් යානය අලුත්වැඩියා කිරීමෙන් පසුව 06/08 දින උදෑසන 07.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානය වශයෙන් මෙඩාන් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .



Recommended Articles