කළාවැව සහ බලලුවැව වේගයෙන් හිඳෙයි


ධාතුසේන රජතුමා විසින් කරවන ලද ඓතිහාසික කළාවැව සහ බලලුවැව නිවුන් වැව් පද්ධතිය මේ වන විට සීඝ්‍රයෙන් සිඳී යමින් පවතින බව ප්‍රදේශයේ සංචාරය කළ අපට දැක  ගත හැකි විය. පවතින දැඩි නියඟය සහ පෝෂක ප්‍රදේශවල සිදුවන පාරිසරික විනාශය මීට ප්‍රධාන හේතුව වී ඇත.

අක්කර දහස් ගණනක වගාබිම් පෝෂණය කරන සහ අනුරාධපුර තිසා වැව දක්වා ජලය රැගෙන යන ජය ගඟ පද්ධතියට ප්‍රධාන වශයෙන් ජලය සපයන කළාවැව මෙලෙස වරින් වර වියළී යාම සමස්ත රජරට කෘෂිකර්මාන්තයටම එල්ල කර ඇති දැඩි බලපෑමකි.

පසුගිය සමයේ මහා සාගරයක් සේ ජලයෙන් පිරී ඉතිරී ගිය වැවේ , ඇතැම් ස්ථාන වල වැව් පතුල මේ වන විට පෙනෙන ආකාරයට ජලය හිස් වී ඇත වැවේ රැඳී ඇති ජලයද පවතින අධික හිරු රෂ්මිය හේතුවෙන් කඩිනමින් වාෂ්ප වන බවද ධීවරයෝ පවසති.

කළාවැව ජාතික උද්‍යානය ආශ්‍රිතව වෙසෙන සිය ගණනක් වනඅලින්ගේ ප්‍රධාන ජල මූලාශ්‍රයද වන කළාවැවේ ජලය පානය කිරීමට වන අලින්ටද වැව මැදට ඒමට සිදුව ඇත.

 යල් කන්නය අවසන් වී අස්වනු නෙලුවද , තවමත් අතිරේක භෝග සඳහා ජලය සැපයීම සිදු කරන අතර ඉදිරි මාස් කන්නය සඳහා ජලය ලබා ගැනීමට අවධානම් වීම හේතුවෙන් කළාවැව යටතේ වගා කරන, ප්‍රදේශයේ ගොවි පවුල් දහස් ගණනකගේ ජීවනෝපාය අඩාල වීමේ අවධානමක් මතුව ඇත.

කළාවැවෙන් , ජයගඟ හරහා අනුරාධපුර දක්වා  ජලය ලබා ගෙන අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා අතර, කළාවැව, එප්පාවල ආදී ප්‍රදේශවල පානීය ජල සම්පාදන කටයුතද  කළාවැවේ සිට ගලා එන ජලයෙන් සිදු කෙරන අතර එම පානීය ජල අවශ්‍යතාවන්ටද ඉදිරියේදී වැසි නොලැබුණහොත් බාධා පැමිණිය හැකිය.වැව අවට භූගත ජල මට්ටම පහළ යාම හේතුවෙන් ප්‍රදේශවාසීන්ද දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.

තවද ප්‍රදේශයේ කිරි ගව පාලනයේ යෙදෙන ගොවීන්ට  පවතින වියළි කාළගුණය හේතුවෙන් තණ බිම් හා තණ කොළ නොමැතිවීම හේතුවෙන් ගවයින්ගේ පෝෂණ තත්වයන් පහළ යාමත්, වැවේ ජලය සිදී ගියහොත් ධීවර කර්මාන්තයේ නිරත පිරිසට ජීවනඋපාාය අහිමිවීමේ අවධානමක්ද පවතී. 



Recommended Articles