කලුතර ප්‍රා සභාවේ විශාල මූල්‍ය වංචාවක්, නිලධාරිනියකගේ සේවයත් අත්හිටුවයි


කලුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මුදල් වංචා කළ බව කියන කලුතර ප්‍රාදේශීය සභාවේ කාර්ය භාර නිලධාරිනියගේ වැඩ තහනම් කර ඇති බව කලුතර ප්‍රාදේශීය සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවපුර මහතා විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බවද කලුතර උතුර පොලීසිය පවසයි.මෙසේ වැඩ තහනම් කර ඇත්තේ කලුතර ප්‍රාදේශීය සභාවේ වස්කඩුව උප කාර්යාලයේ කාර්ය භාර නිලධාරිනිය ලෙස රාජකාරි කළ නිලධාරිනියගේ බව සඳහන් වේ.

විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට මූලික නිරීක්‍ෂණවලදී අනාවරණය වීමෙන් පසු කලුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවපුර මහතාගේ අත්සනින් යුතු නියෝගයක් මත එකී වැඩ තහනම සිදුකර තිබේ.

එම නිලධාරිනිය දීර්ඝ කාලයක් කලුතර ප්‍රාදේශීය සභාවේ වැටුප් ලිපිකාරිනිය ලෙස රාජකාරි කර ඇති අතර, සභාපති වරයෙකු සහ ලේකම් වරුන් සිව්දෙනෙකු යටතේ රාජකාරි සිදුකළ කාලසීමාවෙහිදී මසකට රුපියල් ලක්ෂ තුනක් හෝ ඊට ආසන්න මුදලක් පමණ ඇයගේ සහ ඇය සමග හිතවත්ව සිටි එම සභාවේම රියදුරකුගේ ගිණුමකට මෙසේ වංචනික ලෙස බැරකර ගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පැවසේ.

වත්මන් ලේකම් එරංග දේවපුර මහතාට මාස කිහිපයකට පෙර ලද තොරතුරකට අනුව සිදුකළ නිරීක්‍ෂණවලින් පසු අනාවරණය වූ කරුණු මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයගේ වැඩ තහනම් කර සිද්ධියට සම්බන්ධ බවට සැකකරන රියදුරු මොරොන්තුඩුව උප කාර්යාලයට මාරුකර ලේකම් වරයා කලුතර උතුර පොලීසියට පැමිණිලිකර තිබේ.

කලුතර ප්‍රාදේශීය සභාව යටතේ පවතින වස්කඩුව, උග්ගල්බඩ , නාගොඩ සහ මොරොන්තුඩුව කාර්යාලයන්හි සේවකයන් 160 කට ආසන්න පිරිසකගේ මාසික වැටුප් සැකසීම ඇය විසින් සිදුකර ඇති බවද පැවසේ. පසුගිය දෙසැම්බර් මස වස්කඩුව උප කාර්යාලයේ පැවති පුරප්පාඩුවකට අනුව ඇයට කාර්ය භාර නිලධාරිනිය ලෙස උසස්වීම් ලබාදී ඇති අතර, ඉන් පසුවද ඇය වැටුප් සකස් කිරීම සඳහා මැදිහත්ව සිට ඇති බවද කාර්යාලය සේවකයෝ පවසති.

මේ පිළිබඳ විමසීමේදී නම සඳහන් කිරීමට මැලිවූ කළුතර ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම් වරයා විසින් කලුතර උතුර පොලීසියට පැමිණිලිකර ඇති බවත්, කාර්ය භාර නිලධාරිනියගේ වැඩ තහනම් කර ඇති බවත්ය.

පානදුර - සුමිත් පොතුපිටිය

 



Recommended Articles