කතරගම වාසනා හස්තියාගේ දකුණු දළයෙන් කොටසක් කැඩී යයි


රුහුණු කතරගම මහා දේවාලයට අයත් වාසනා හස්ති රාජයාගේ දකුණු දළයෙන් කොටසක් කැඩී ගොස් ඇති අතර හස්ති රාජයා භාරව කටයුතු කරන ප්‍රධාන ඇත් ගොව්වා වන අජිත් අශෝක ලියනගේ මහතා විසින් මේ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුවත් කර තිබේ.

මද සමය එළඹීම හේතුවෙන් මේ වන විට වාසනා හස්ති රාජයා වෙනම ස්ථානයක රඳවා තබා කෑම බීම හා ඖෂධ ලබා දීම සිදුකරනු ලබයි. හස්තිරාජයා ගාල්කර ඇති ස්ථානයේ තිබී පසුගිය විසි දෙවැනි දින අලුයම  දකුණු දළයේ කැඩී ගිය කොටස සොයාගෙන ඇත.එම කැඩී ගිය කොටසේ දිග ප්‍රමාණය අඟල් දාහතර හමාරක් පමණ වන බව හස්තියාගේ ප්‍රධාන ඇත් ගොව්වා වන අශෝක ලියනගේ මහතා පවසයි.

කැඩී ගිය එම දළ කොටස මේ වන විට කතරගම දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය වෙත භාරදී තිබේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑ බද ප්‍රදේශයක අතරමංව සිට සොයා ගත් වාසනා හස්තියා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ එවකට අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් රුහුණු කතරගම මහා දේවාලයට ඇතා පූජා කර තිබේ.එතැන් පටන් මේ දක්වාම කතරගම දේවාලය භාරයේ මෙම ඇතා පසුවෙයි.

සූරියවැව නුවන් ජයසේකර

 



Recommended Articles