කතකගේ දෑත් දෙපා ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකෑ මෙහෙකාරිය අත්අඩංගුවට


පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ මිත්තණියගේ දෑත් දෙපා රෙදි පටි වලින් ගැටගසා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා පලාගිය නිවසේ මෙහෙකාරිය  අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර,  කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක විසින් කල පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

ස්වාමි දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිවසේ නොමැති අතරේ ඇයගේ මිත්තණියගේ  දෑත් දෙපාරේ රෙදි පටිවලින් ගැට ගසා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා සැකකාරිය පළාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ඇය පදිංචි මාතර කඹුරුපිටිය  පරීක්ෂා කිරීම් සිදුකර ලබාගත් තොරතුරු මත ගම්පහ ප්‍රදේශයේ තවත් නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

සැකකාරිය විසින් සොරකම් කරන ලද රන් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්,ඒවා ඉදිරි දින කිහිපයේදී සොයාගත හැකි වන බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සුමිත් පොතුපිටිය
 


Recommended Articles