කටුනායකදී අත්අඩංගුවට ගත් විශාලම කොකේන් තොගය


රුපියල් කෝටි 18 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 04 යි ග්රැම් 527  තම අත් බෑගය තුළ සගවා ගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මොහු ආචාර්ය උපාධියක් සහිත ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු බව ඒත්තු ගැන්වීම සදහා ව්‍යාජ ලියකියවිලි තොගයක් ද රේගුව වෙත ඉදිරිපත් කර තිබුණි. සැකකරු මුලින්ම ගුවන් මගින්  ටියුනීසියාවේ සිට බ්‍රසීලය වෙත පැමිණ එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.

ඉන්පසුව එම ගුවන් තොටුපළේ සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු පැවසීය.‍

මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.



Recommended Articles