කටුනායකට නව පිවිසුම් ගොඩනැගිල්ලක්


කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ නව පිවිසුම් ගොඩනැගිල්ල වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් අද (03දා) විවෘත කෙරිණි.

කටුනායක ගුවන් තොටුපළ තුළ ගුවන් භාණ්ඩ ආනයනය සහ අපනයනය ගොඩනැගිලි තුනක සිට මෙහෙයුම් කටයුතු කළ අතර , ඒ සදහා තාවකාලිකව සකස් කළ කූඩාරම් තුළ මෙහි පිවිසෙන වාහන නිෂ්කාශන කටයුතු සිදු කෙරුණි . එහෙත් අද සිට එම කටයුතු සදහා පිවිසෙන සියලුම වාහන මෙම ගොඩනැගිල්ල ඔස්සේ විධිමත් ආකාරයෙන් ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයට පිවිසීම  සිදු කිරීමට පහසුකම් සැළසෙනු ඇත .

මෙම උත්සව සභාවේ දී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවසීය . වර්තමාන ලෝකයේ භාණ්ඩ ආනයන අපනයන කටයුතු විශාල වශයෙන් ගුවන් යානා මගින් සිදු කෙරෙමින් පවතිනවා . එම තත්වය දිනෙන් දින වර්ධනය වෙමින් තියෙනවා .

මෙම ආනයන සහ අපනයන භාණ්ඩ සුරක්ෂිතව සහ සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කර තබා ගනිමින් අවශ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කිරීම මෙම ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ නව තවත් ගොඩනැගිල්ලක් ද ඉදිකරමින් පවතින අතර , එම ගොඩනැගිල්ල එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ජනතා පරිහරණය සදහා විවෘත කිරීමට සැළසුම් කර තිතිබෙන බව ද අනාවරණය කළේය .

මේ නව ඉදිකිරීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක මුදලක් ගුවන් තොටුපළ සමාගම විසින් වැය කරනු ලබන අතර , එය ඉදිකිරීමෙන් පසුව එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත පවරා , ඒ සදහා කුළී වශයෙන් මේ සදහා වැය කල මුදල උපයා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය .

මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ මංගල විජේසේකර  ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් පැමිණ සහභාගී වූහ.



Recommended Articles