කටුනායකට කොරෝනා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක්


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ , එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් 07/05 දින උදෑසන විවෘත විය .

මෙම අතරමැදි  වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි  ක්‍රිස්ටල් මාටින් නැමැති කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක පිහිටුවා තිබේ .

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ආයෝජනය    කර ඇති අතර , මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ඇදන් 425 ක් සූදානම් කර තිබෙන බව සංජය මොහොට්ටාල මහතා පැවසීය .

මේ සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපීය කර්මාන්තකරුවන්ගේ සංගමය , ගම්පහ ජාතික තරුණ සේවා සභාව ද දායකත්වය සපයා තිබේ .

මෙම මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබයි .

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මීගමුව මහ රෝහලට අයත් ගිලන් රථයක් පැය 24 පුරා සූදානමින් තබා ඇති අතර , මෙහි සංකූලතා මතු වූ රෝගීන් මේ මගින් ක්ෂණිකව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට සැළසුම් කර තිබේ .

මෙම අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ වැඩිපුර ගැහැණු සේවිකාවන් සදහා ඇදන් සූදානම් කර ඇති අතර , ඔවුන්ගේ රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍ර , දුරකථන පහසුකම් , රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර , වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට   නේවාසික පහසුකම් මෙන්ම , සමස්ථ ප්‍රතිකාර මධ්‍යස්ථානයම වායුසමනය කිරීමට ද ලක් කර තිබේ .

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන අතර , එක් අයෙකුට දිනකට වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන්  රුපියල් 1,500 ක මුදලක් , ඔවුන් සේවය කරන කර්මාන්තශාලාව මගින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙවීම සිදු කළ යුතුය .

කටුනායක ටී.කේ.ජී.කපිල

 



Recommended Articles