කටුනායකට ආපු ගුවන් යානා තුනක් මත්තලට හරවා යවයි


කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ සවස  හදිසියේම ඇති වූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
 
ඒ අනුව මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත 04/25 දින සවස 06.02 ට ගොඩ බස්වා තිබුණි .
 
එසේම ගැන් අයිලන්ඩ් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 120 දරන ගුවන් යානය 04/25 දින රාත්‍රී 06.18 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි .
 
එමෙන්ම ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 128 දරන ගුවන් යානය 04/25 දින රාත්‍රී 06.46 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි .
 
 මෙම ගුවන් යානා තුනෙහි  සිටි මගීන් එම යානා වලින්  පිටතට බස්වා නොමැති අතර 04/25 දින රාත්‍රී 07.00 ත් 08.00 ත් කාළය අතර , කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් මට්ටමට පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණි තිබේ . 
 
එසේම මෙම තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් යානා දෙකක් ප්‍රමාද වීම් වලට ලක් වී තිබේ .
 
ඒ අනුව දකුණු කොරියාවේ ඉන්චියොන් බලා 04/25 දින රාත්‍රී 08.50 ට පිටත්ව යෑමට නියමිතව තිබූ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය රාත්‍රී 10.30 වන තෙක් ප්‍රමාද වී කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
 
එමෙන්ම 04/25 දින රාත්‍රී 06.45 ට ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 171 දරන ගුවන් යානය ප්‍රමාද වී රාත්‍රී 10.45 ට පිටත්ව ගොස් තිබුණි . එය පැය 04 ක ප්‍රමාද වීමකි .
 
එසේම ඉන්දියාවේ චෙන්නායි සිට 04/26 දින අලුයම 04.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානය මේ වන තෙක් පැමිණ නොමැති අතර එම ගුවන් යානය පැමිණෙන වේලාව මෙතෙක් ප්‍රකාශට පත් වී නොමැත .


Recommended Articles