කටුනායක සිට මැදපෙරදිගට යන ගුවන් ගමන් නවතී


ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සිට මැදපෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රී ලන්කන්, ෆිට්ස් එයාර් සහ අනෙකුත් ගුවන් සේවා , මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී ඇති යුධමය තත්වය නිසා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , එහි ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල මහතා 02/28 දින පස්වරුවේ පැවසීය .

මේ වනවිට මැදපෙරදිග ප්‍රදේශයේත් උද්ගත වී ඇති තත්වය පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ෆිට්ස් එයාර් ගුවන් සේවය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන විදේශීය ගුවන් සේවාවන් වන එමිරේට්ස් , ඉටිහාඩ් , ෆ්ලයි ඩුබායි , සෞදියා , ඕමාන් එයාර් සහ කටාර් ගුවන් සේවා ප්‍රධානීන් සමග 02/28 දින ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී ඉහත තීරණ වලට එළඹි බව ද දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය .

එමෙන්ම  මැදපෙරදිග බලා යෑමට සූදානම් වී සිටින ගුවන් මගීන් , කෙළින්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත නොපැමිණ , ඒ පිළිබද තම ගුවන් සේවා ආයතන වලින් හෝ කටුනායක ගුවන් තොටුපොළ අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් දමිත් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය .

එසේම මේ වනවිටත් ඈත පෙරදිග රටවල සිට , එනම් චීනය , ඉන්දුනීසියාව , මැලේසියාව යන රටවල සිට මැදපෙරදිග බලා පිටත්ව ඇති ගුවන් යානා වලට සිය ගමනාන්ත කරා ළගා වීමට නොහැකි නිසා , ඒ වෙනුවට කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ සූදානම් කර ඇති බවත් දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය .



Recommended Articles