කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් තවත් ආසාදිතයින් 10ක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/19 දින සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළිනුත් , තවත් 02 දෙනෙකු මෙම කළාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලිනුත් සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 224 ක් බවත් , මෙම කළාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් 22 දෙනෙකු ද සොයාගෙන ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/19 සවස 4.00 වනවිට සොයා ගත් කොරෝනා ආසාදිත රෝගීන් සමග දිස්ත්‍රික්කයේ සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1,632 දක්වා ඉහළ ගොස් ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ සමගම කටුනායක සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් 10/19 දින කොරෝනා ආසාදිත රෝගීන් 25 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතර , ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා දිවුලපිටිය රෝහල වෙත යොමු කර ඇති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන  සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල 


මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA  Whatsapp / Viber / Telegram  Group එක හා මෙතනින් එකතු වන්න 

Whatsapp - click here Viber - click here Telegram - click here



Recommended Articles