කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාස‌යේ ඉහළම මත්ද්‍රව්‍ය තොගය අල්ලයි


කටුනායක ගුවන් තොටුපොළ තුළ දී මෙතෙක්  අත් අඩංගුවට ගත් වටිනාකම සහ ප්‍රමාණයෙන් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස රුපියල් කෝටි පනහක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්  01/06 දින උදෑසන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ  පළා යාමට තැත් කළ  විදේශීය ගුවන් මගීන් තිදෙනකු සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගයෙකි.  27 හැවිරිදි ඔහු මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නෙකි . අනෙක් කාන්තාවන් දෙදෙනා 25 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන මුම්බායි නුවර සේවය කරන  පාසැල් ගුරුවරියන් දෙදෙනෙකි.

මොවුන් අතරින් එක් ගුරුවරියක සමග මෙහි පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් ගුරුවරිය ඔහුගේ නැගණියයි.  ඔවුන් වෙත බැංකොක් සවාරියක් දෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී , මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

ඔවුන් 01/06 දින උදෑසන 11.07 ට  තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට මදක්උ අධික බරකින් යුතු ඇසුරුම් 48 ක් තුළ , මෙම කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 ක ප්‍රමාණය අසුරා සගවා ගෙන තිබුණි .

මීට පෙර කටුනායක ගුවන් තොටුපොළ තුළ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස වාර්තා ගත වී තිබුණේ ඉකුත් වසරේ වෙසක් පෝය දින බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 46 ක " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයයි .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයන් තිදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .



Recommended Articles