කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලම මත්ද්‍රව්‍ය වැටලීම


රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් 05/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

38 හැවිරිදි ඇය , ස්වයං රැකියාවක නිරත තායිලන්ත ජාතික කාන්තාවකි. ඇය 05/30 දින අලුයම 02.00 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , ( " ටෙඩි බෙයාර්'' ) රෙදි වලින් සකස් කර , ඇතුළට පැඩින් නැමැති පුළුන් විශේෂය පුරවා සකස් සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ , කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 323  ක් බර , කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500 ක් සගවා ගෙන පැමිණ තිබුණි .

මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ තායිලන්ත ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .



Recommended Articles