කටුනායක ගුවන් තොටුපළ පිවිසිම සදහා නව මාර්ගයක් විවෘත කෙරේ


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (1 4) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .

මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අරුණ වරුෂහැන්දි , සිවිල් ගුවන් සේවා අඅධිකාරියේ සභාපති උපුල් ධර්මසේන , සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ගුවන් සේවා ) සුනිල් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් පිරිසක් ද සහභාගී වී සිටියහ .

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා මෙසේ පැවසීය .

“අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විශේෂ දිනයක් .  මීට මාස තුනකට පමණ පෙර අතිගරු ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා සහ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මෙවැනි මහා මාර්ගයක අවශ්‍යතාවය අපට පෙන්වා දුන්නා .

ඒ අනුව මෙම නව මහා මාර්ගය ඉදිකිරීමට අපි පියවර ගත්තා . දැනට පැවති ගුවන් තොටුපළ ඉදිරිපිට මහා මාර්ගය ඔස්සේ දිනකට රථ වාහන 26,000 ක් පමණ ගමන් ගනිමින් තිබෙනවා . ඒ නිසා දිනපතා ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් පවතිනවා . එම වාහන තදබදය අවම කිරීමටත් මෙම මහා මාර්ගය පිළියමක් .

මංතීරු දෙක බැගින් , දෙපසට ගමන් කළ හැකි මං තීරු හතරකින් යුත් මෙම මාර්ගය මීටර් 600 ක දිගකින් යුක්තයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම මහා මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 600 ක් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැය කර තිබෙනවා . මෙම මහා මාර්ගය මාස 03 ක් වැනි කෙටි කාළයක් තුළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් , අපගේ ඉල්ලීම මත ඉදිකර දී තිබෙනවා”යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

 



Recommended Articles