කටුනායක කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට


කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ ප්‍රදේශයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින සවස 4 පමණ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 100 දෙනකු වාර්තා වී ඇති බව ගම්පහ  දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ස්මාර්ට් ෂර්ට්  නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළින්  අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හැට තුන් 63 දෙනෙකු  සොයා ගෙන තිබේ .

පසුගිය දින කිහිපය  පුරා ද මේ ආකාරයට මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළින් විශාල වශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වී තිබුණි .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 51 ක සේවය කරන 1,142 දෙනෙකු  මේ වන විට  කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ.

එසේම කටුනායක -සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ 03/15 වැනි දින තවත් කොරෝනා ආසාදිතයන් 37 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය  .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළින් මේ  දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1,110 දෙනෙකු සොයාගෙන තිබේ .

අද දින  වාර්තා වී ඇති  රෝගීන්   වතුපිටිවල සහ වරකාපොල දිස්ත්‍රික් මහ රෝහල්  යක්කල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා  යොමු කළ බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

එසේම අද දින වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 11,000 ක් ප්‍රදේශයේ තාවකාලික සහ ස්ථිර පදිංචිකරුවන් වෙත ලබා දී ඇති බව ද සුරේෂ් කුමාර මහතා පැවසීය .

එසේම යූක්‍රේන ජාතික ගුවන් යානා කාර්යය මණ්ඩල නිලධාරීවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීම නිසා , ඔහු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත යොමු කළ බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles