කටුනායක කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට


කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනෙකු සොයාගෙන ඇති අතර ,  ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිතයන් 977 දෙනෙකු මෙම කොට්ඨාසය තුළින් වාර්තා වී තිබේ .

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන 03 දෙනෙකුට ද අද දින මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම කළාපයේ කර්මාන්තශාලා 50 ක සේවය කරන 960 දෙනෙකු මේ දක්වා මෙම වෛරසයට ගොදුරු වී තිබේ .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින්  අද දින වාර්තා වී ඇති රෝගීන් දිවුලපිටිය මූලික රෝහල සහ යක්කල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

එසේම අද දින ලියනගෙමුල්ල ප්‍රජා ශාලාවේ දී සහ කටුනායක 18 කණුව ශ්‍රී බෝධිරතනාරාම විහාරස්ථානයේ දී ප්‍රදේශවාසීන් හට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 1,383 ක් ලබා දුන් බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය . 



Recommended Articles