කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වලින් සහ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින ද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 02 ක සේවය කරන 03 දෙනෙකු අද ද කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබූ අතර , ඒ අනුව මේ දක්වා මෙම නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන 814 දෙනෙකු මෙම වෛරසයට ගොදුරු වී තිබේ .

එමෙන්ම අද දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 08 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 820 දෙනෙකු වාර්තා වී තිබේ .

එසේම කටුනායක ප්‍රදේශයට සමීප මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා වෛරසය ආසාදිත වූවන් 31 දෙනෙකු වාර්තා වන අතර , ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා මෙම කොරෝනා වෛරසය ආසාදිතයන් 812 දෙනෙකු වාර්තා වී තිබේ .

එමෙන්ම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් මෙම වෛරසය ආසාදිත රෝගීන් 1415 දෙනෙකු වාර්තා වී තිබේ .

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් සදහා පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන 06 තුළ ස්ථාපිත කර ඇති ඇදන් 511 න් අද දින වනවිට ඇදන් 468 ක මෙම කොරෝනා වෛරසයට ගොදුරු වූ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles