කටුනායක කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 17 දෙනෙකු දක්වා ඉහළට


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 17 දෙනෙකු  දක්වා ඉහළ ගොස් ඇති බව 10/11 දින වනවිට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව කටුනායක සීදුව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසුමකදී පැවසීය .

ඒ අනුව 10/11 දින තුළ තවත් කොරෝනා ආසාදිත සේවකයින් තිදෙනෙකු , සිදු කර තිබූ පී.සී.ආර්.පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ .

 ඔවුන් නෙක්ස්ට් නැමැති ඇගලුම් කම්හලේ සේවකයින් දෙදෙනෙකු සහ චීප් වේ කර්මාන්තශාලාවේ එක් සේවකයෙකු බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය .

ඉකුත් 10/09 දින තුළ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තිදෙනෙකු මුලින්ම වාර්තා වූ අතර , 10/10 දින තවත් සේවකයින් 11 දෙනෙකු නෙක්ස්ට් නැමැති ඇගලුම් කම්හලෙන් වාර්තා වී තිබුණි .

එසේම 10/11 දින සවස ආඩිඅම්බලම ප්‍රදේශයේ නේවාසිකව සිටි නෙක්ස්ට් නැමැති ඇගලුම් කම්හලේ සේවකයෙකු ද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නීරෝධායනයට යොමු කර කර තිබේ .

 එමෙන්ම 10/10 දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සිටින සේවකයින් 800 කට අධික ප්‍රමාණයක් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර තිබූ අතර , මේ වනවිට ඒවායේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින බව ද වාර්තා වේ.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අත් වැසුම් නිපදවන කම්හලක සේවකයින් 500 කගේ පමණ පී.සී.ආර්.පරීක්ෂණ 10/09 දින සිදු කර තිබූ අතර , ඒවායේ ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී නොමැති බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය .  

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles