කටුනායක කොරෝනා ආසාදිත තත්ත්වය


ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව  කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් සහ ප්‍රදේශයේ සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින  කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 67 දෙනෙකු වාර්තා වී තිබේ .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි එක් කර්මාන්තශාලාවක සේවය කරන සේවකයින් 36 දෙනෙකු අද  දින කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගාතුර වී තිබේ .

එ නිසා මේ දක්වා මෙම කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන සේවකයින් 926 දෙනෙකු මෙම වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබා තිබේ .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද අද දින තවත් කොරෝනා ආසාදිත රෝගීන් 31 දෙනෙකු වාර්තා වී තිබේ .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 939 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වාර්තා වී ඇති රෝගීන් යක්කල වෛද්‍ය මධ්‍යස්ථානය සහ දිවුලපිටිය දිසා රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

එසේම අද දිනයේ සිට මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි තෝරා ගත් ග්‍රාම නිලධාරී වසම් 04 ක පදිංචි වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් හට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දෙන බව ද කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

 



Recommended Articles