ඕමානයේ සිටි තවත් ගෘහ සේවිකාවන් 15ක් එයි


ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" මැදුරෙහි සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු අද (15දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනෙකු රදවා සිටින අතර, ඔවුන් අතරින් 17 දෙනෙකු ශ්‍රී ලංකාවට එවීම සදහා ඕමානයේ මස්කට් ගුවන් තොටුපළ වෙත භාර දී තිබූ අතර එයින් මෙම ගෘහ සේවිකාවන් දෙදෙනෙකුගේ ලියකියවිලි වල පැවති අඩුපාඩු නිසා ඔවුන් මස්කට් ගුවන් තොටුපළ විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙසේ පැමිණි ගෘහ සේවිකාවන් 15 දෙනා 01/15 දින අලුයම 04.50 ට ඕමානයේ මස්කට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම පිරිස භාර ගැනීම සදහා මෙම ගෘහ සේවිකාවන්ගේ දෙමාපිය නෑදෑ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම සිදු වීම වාර්තා කිරීම සදහා මාධ්‍යවේදීන් කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත 01/15 දින අලුයම 04.00 සිට පැමිණ සිටියද , ඔවුන්ට ඒ සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාවේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටරය වෙත යෑමට ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා අවසර ලබා නොදීම නිසා එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට බලවත් බාධා ඇති විය.



Recommended Articles