ඔස්ට්‍රේලියාවේ සිටි බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් ශ්‍රී ලන්කන් මගින් රැගෙන එයි


කොරෝනා වසංගත රෝග තත්වය නිසා , තම රට වෙත යෑමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු ,  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා ඊයේ (08දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියේය.

එම විශේෂ ගුවන් යානය රාත්‍රී 8.05 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට බංග්ලාදේශයේ ඩකා නුවර වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති බැවින් , මෙසේ එම ගුවන් මගීන් ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ , පසුව යළිත් බංග්ලාදේශයේ ඩකා වෙත රැගෙන යෑම සිදු කෙරේ.

මෙම ගුවන් යානයෙන් පැමිණි බංගලාදේශ ජාතික ගුවන් මගීන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු සියල්ල කටුනායක ගුවන් තොටුපළේ දී විෂබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි .

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළේ සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය වෙත 165 දෙනෙකුගෙන් සමන්විත මෙම  මගීන් පිරිස ඇතුළු කරනු ලැබීය.

 ඊට අමතරව මෙම වසංගත රෝග තත්වය නිසා බංග්ලාදේශය වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි තවත්  බංගලාදේශ ජාතිකයන් 11 දෙනෙකු ද , මෙම ගුවන් යානය තුළට ඇතුළු කරනු ලැබීය.

 ඒ අනුව බංගලාදේශ ජාතිකයන් 176 දෙනෙකු රැගෙන මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය 5/08 දින රාත්‍රී 10.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් , බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියේය .



Recommended Articles