එල් නිනෝවෙන් හානි වූ වගා සඳහා වන්දි ගෙවීම ලබන සතියේ සිට


රටට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති වගා හානි සඳහා වන්දි ගෙවීම එළඹෙන සතියේ සිට කඩිනමින් සිදුකරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අයි. යූ. කේ. කලුආරච්චි මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (04) එල් නිනෝ තත්වය හා ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අරඹා සති 02ක් ඇතුලත සියලුම වගා හානි සඳහා වන්දි ගෙවා නිම කිරීමට සූදානම් කර ඇතැයිද, එළඹෙන මහා කන්නය වෙනුවෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලිය සහ වාරිමාර්ග දෙපාර්තමෙනේතුව ඒ ඒ ප්‍රෙද්ශ සදහා ලබාදෙන උපදෙස් අනූව සහ වගා කාල සටහනට අනූව වගාකිරීම් සිදුකරන ලෙස ගොවිජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරන බවද අවධාරණය කළේය.

වන්දි ගෙවීමේදී කිසියම් හානියක් සිදුවුවහොත් අනිවාර්යයෙන්ම වන්දි ගෙවීම් සිදුකරන්නේ වගා කාල සටහනකට අනූව වගාකළ බිම් වලට පමණක් බවද පවතින සියලුම දත්ත පදනම් කරගෙන දෙපාර්තමේන්තුව විසින් වගාවන් පිළිබඳව උපදෙස් ලබාදෙන බවද පැවසුවේය.ඒ අනූව වන්දි ගෙවීමට අදාල කටයුතු කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් සිදුකරන බවද පැවසුවේය.

2026 යළ කන්නය යනු හොඳ අස්වැන්නක් පැවති කන්නයක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දත්ත සලකා බැලූ විට තහවුරු වන බවද, පසුගිය වසර 05ක දත්ත සැලකීමේදී අඩුම වගා හානියක් වාර්තාවන කන්නය 2026 යළ කන්නය බවද වැඩිදුරටත් පැවසුවේය.

අක්කර 8000 – 8500 අතර ප්‍රමාණයක්වගා හානි වාර්තා වී ඇතැයිද, විශේෂයෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, පුත්තලම වැනි දිස්ත්‍රික්කවලින් වගා හානි සුළු වශයෙන් වාර්තා වී ඇතැයිද කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 3000ක ප්‍රමාණයක් වගා හානි සඳහා වන්දි ගෙවීමට වෙන්වී ඇතැයිද දැන පවත්නා තත්ත්වයට මුහුණදීම සඳහා එම මුදල් ප්‍රමාණවත් බවද අවධාරණය කළේය.



Recommended Articles