ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් විකල්ප ඉඩම් ලබාදීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. උපරිමයකට වැඩි කෘෂිකාර්මික ඉඩම් හිමි නොවන අයට විකල්ප ඉඩම් ලබාදීමට හැකියාවක් නොමැති නමුත් කොමිෂන් සභාව විසින් එවැනි අය වෙත විකල්ප ඉඩම් මුදාහැර ඇති බව මෙහිදී අනාවරණය විය.
උපරිමයකට වැඩි කෘෂිකාර්මික ඉඩම් හිමි අයෙක් නොවන තැනැත්තියකට හිමි රත්නපුර දිස්ත්‍රක්කයේ පිහිටි රාස්සගල වත්තේ අක්කර 22ක් වෙනුවට විකල්ප ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වත්ත නැමැති ඉඩමෙන් අක්කර 43කට වැඩි ප්‍රමාණයක් ලබාදීම පිළිබඳ මෙහිදී කරුණු අනාවරණය විය.
රාස්සගල වත්ත නැමැති ඉඩමේ භුක්තිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නොවන අතර එහි භුක්තිය ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතුව තිබූ බවට එහිදී කරුණු අනාවරණය වූ අතර උපරිමයකට වැඩි කෘෂිකාර්මික ඉඩම් හිමි තැනැත්තියක නොවන අයෙකුට විකල්ප ඉඩම් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමද මෙහිදී සිදුවිය.
එමෙන්ම කොමිෂන් සභාව පවරා ගත් ඉඩමක් වෙනුවට හන්තාන - ඌරගල වත්තෙන් අක්කර 25ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට ලබාදීම, ඔහු විසින් වෙනත් පුද්ගලයෙකුට එය ඇටොර්නි බලපත්‍රයක් මගින් පැවරීම, පසුව එම පුද්ගලයා විසින් එය දේපොළ වෙළඳාම් සමාගමකට පැවරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එහිදී අනාවරණය වූයේ කොමිෂන් සභාව විසින් එකී දේපොළ වෙළඳාම් සමාගමට 2021.07.31 දින එම අක්කර 25 රුපියල් 101,109/- කට ඔප්පුවකින් ලබාදී ඇති බවයි.
ඒ අනුව ඉඩමේ පර්චස් එකක වටිනාකම රුපියල් 28.72/- බව සහ පසුව එම සමාගම විසින් පර්චස් එකක් රුපියල් ලක්ෂ 06 බැගින් විකුණා ඇති බව සහ එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ගනුදෙනුවක් බව කමිටුවේදී අවධාරණය කෙරිණි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළ 2022 සහ 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යය සාධනය පිළිබඳ සලකා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 2025.07.17 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ කරුණු සාකච්ඡා කෙරිණි.
කොමිෂන් සභාව ආරම්භ කර වසර 50ක් ඉක්ම ගොස් ඇතත් කොමිෂන් සභාව සතු ඉඩම්වල ඉඩම් සහ මායිම් හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව මෙහිදී අවධානය යොමු කළේය. මායිම් හඳුනාගත නොහැකි නමුත් ඉඩම හඳුනාගෙන ඇති ඉඩම් සහ ඉඩම හෝ මායිම හඳුනාගෙන නොමැති ඉඩම් සහ මායිම් හඳුනාගැනීමට කොමිෂන් සභාව සතු ඉදිරි වැඩපිළවෙල පිළිබඳව කමිටුව විමසා සිටියේය. එහිදී සභාපතිවරයා ප්‍රකාශ කළේ ප්‍රථම වතාවට කොමිෂන් සභාව සතු ඉඩම් පිළිබඳ ලැයිස්තුවක් මේ වනවිට සකස් කර ඇති බවයි.
2025 මැයි 08 වැනි දින කෝප් කමිටුව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ලබා දෙනලද නිර්දේශයන්හි ප්‍රගතිය පරික්ෂා කිරීම සහ ඊට අදාළ කරුණු සාකච්ඡා කිරීමද මෙහිදී සිදුවිය.
ඒ අනුව, කොමිෂන් සභාව සඳහා 2026 – 2030 ට අදාළ සුදුසු සංයුක්ත සැලැස්මක් සකස් කරන ලෙස ලබා දුන් නිර්දේශයට අනුව සංයුක්ත සැලැස්මක් සකස් කොට අමාත්‍යංශයට ලබාදී ඇති බවත් එහි පිටපතක් කමිටුව වෙත ලබා දීමට කටයුතු කරන බවත් කොමිෂන් සභා සභාපතිවරයා පැවසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම ඇතුළු පසුගිය කාලය තුළ සිදු කරන ලද අනීතික පත්වීම් නිවැරදි කරන ලෙසට දෙන ලද නිර්දේශයට අනුව පත් කිරීම් සියල්ලම පිළිබඳ මූලික වාර්තා කැඳවා ඒම වාර්තා පරික්ෂා කිරීමට විශේෂ කමිටුවක් පත් කළ බවත් එහි වාර්තාව කමිටුවට ඉදිරිපත් කිරීමට සති 03ක කාලයක් ලබා දෙන ලෙසත් කොමිෂන් සභාව කෝප් කමිටුවෙන් ඉල්ලා තිබේ.
කාබනික පොහොර ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අරමුදලින් මුදල් වියදම් කිරීම සම්බන්ධව අමාත්‍යාංශය සිදුකරමින් පවතින පරීක්ෂණය අවසන් කර වාර්තාව එවීමට කෝප් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී කොමිෂන් සභාව දන්වා ඇත්තේ උක්ත පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර එහි වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන බව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිටත් ඒ පිළබඳ පරීක්ෂණ ආරම්භ කොට ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි.
එයට අමතරව 2023 අප්‍රේල් 23 දින කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමුවිය. ඒ අනුව කොමිෂන් සභාවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයෙකු ලෙස මේ වනවිටත් සේවයේ නියුතු එන්. විමලරාජ් නැමැති නිලධාරියා විසින් කොමිෂන් සභාව සතු ඉඩම් 1000කට වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස බැහැර කර ඇති බවට පෙර කෝප් කමිටු වාර්තාවේ දක්වා තිබූ චෝදනාවට ලබාදී තිබූ නිර්දේශ වලට අදාළ විමර්ෂණ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම පිළිබඳව කමිටුව සිය කණස්සල්ල පළ කළේය.
1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 44(ඕ) වගන්තියට අනුව කොමිෂන් සභාව විසින් සේවයේ යොදවා සිටින සේවකයන් සඳහා අර්ථසාධක අරමුදලක් පිහිටුවීම, සුභසාධන හා විනෝද ක්‍රීඩා පහසුකම්, නිවාස හා නේවාසිකාගාර හා වෙනත් ඉඩකඩ සැපයීම සිදු කළ යුතුය යන්න පදනම්ව කොමිෂන් සභාවේ වසර 05ක් අඛණ්ඩ සේවයක් හිමි සේවකයෙකුට පර්චස් එකක් රුපියල් 1,000ක වටිනාකමට පර්චස් 20 බැගින් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම ක්‍රියාවලියට අනුව නිලධාරින් 396ක් වෙත අක්කර 49 පර්චස් 35.64ක් ලබාදී තිබිණි. මෙහිදී කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා සඳහන් කළේ මෙම වැඩපිළිවෙල පසුගිය කාලය තුළ නතර කොට ඇති බවයි. ඉඩම් ලබාගත් නිලධාරීන් ප්‍රමාණවත් කාලයක් සේවය කර නොතිබීම, ඉඩම ලබා ගත් පසු සේවයෙන් ඉවත් වීම සහ ඉඩම ලබාගෙන එය විකිණීම යන කරුණු පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු කළ කෝප් කමිටුව උපදෙස් දුන්නේ මෙම වැඩපිළිවෙල සාධාරණ නොවන හෙයින් උක්ත වගන්තිය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් සුදුස අර්ථකථනයක් ලබා ගන්නා ලෙසයි.