එමිරේට්ස් ගුවන් සේවිකාවට අතවර කළ ලාංකික ගුවන් මගියෙක් අල්ලයි


ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානය තුළ සේවයේ නිරත වී සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට , උඩු ගුවනේ දී ලිංගික අතවර සිදු කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර , ඔහු 05/29 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නැවක කපිතාන්වරයෙකු ලෙස සේවය කරන 49 හැවිරිදි ඔහු යාපනය ප්‍රදේශයේ පදිංචි  ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහු 05/28 දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු එසේ එම ගුවන් යානයෙන් පැමිණෙමින් සිටි අතරතුර අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවට ලිංගික අතවර සිදු කර තිබේ .

ඇය වහාම මේ පිළිබඳ ගුවන් යානයේ නියමුවා දැනුවත් කර , එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව , පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මෙම ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව , මොහු බීමත්ව සිටි බවට , කරුණු  තහවුරු වී තිබේ .

ඒ අනුව මෙම ගුවන් මගියා 05/29 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය . මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක වීරසිංහ , කාන්තා පොලිස් සැරයන් 2588 හේරත් සහ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසියේ කාන්තා පොලිස් සැරයන් 5496 ප්‍රියදර්ශනී යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .



Recommended Articles