එන්නත් ප්‍රමාදයට හේතුව ජාත්‍යන්තරයේ පවතින අධික ඉල්ලුමයි


එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතැමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තරය තුළ එන්නත් සඳහා පවතින අධික ඉල්ලුම මිස, රජ‍යේ මුදල් හිඟතාවයක් නොමැති බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මහනුවර මහයියාවේ ප්‍රදේශයේ දී සිදුකරණ එන්නත්කරණ කටයුතු නීරීක්ෂණය සඳහා සහභාගි වූ අවස්ථාවේ  අමාත්‍යවරයා  මේ අදහස් ප්‍රකාශ කළේය.

කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බවත්,  අධික ඉල්ලුම හේතුවෙන් එන්නත් හිඟයක් මතු වී ඇති නමුත් කොරෝනා පාලන එන්නත්කරණ ජාතික කමිටුවේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ලෝක සෞඛ්‍ය  සංවිධානය සමඟ කර ඇති සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය ක‍ළේය.

ඒ අනුව ඉදිරියේදී මෙරටට අවශ්‍ය  එන්නත් ප්‍රමාණය හිමිවන බව ද එන්නත් මිලදී ගැනීම සඳහා  විවිධ සංවිධාන සතු අරමුදල් ලබා දීමට සූදානම් යැයි ඇතැම් දේශපාලඥයන් ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් යැයි ද දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් කවුරු කුමක් ප්‍රකාශ කළත් ලෝක වෙළද පොලේ පුද්ගලික මට්ටමින් එන්නත් ලබා ගැනීමට නොහැකි යැයි ද රාජ්‍ය  අමාත්‍ය  දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles