එකම පවුලේ හත් දෙනෙකුගෙන් පස්දෙනෙක් අවස්ථා හතරකදී දිවි නසාගෙන


එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේදී  නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ තුසිත සම්පත් බංඩාර නම් 24 හැවිරිදි තරුණයෙකි. ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස අද (02)  සියදිවි නසාගෙන ඇත.

නිවසේ කිසිවකුත් ඒ අවස්ථාවේ රැදී සිට නැති අතර, පස්වරු 12. 00 ට ආසන්න වේලාවකදී ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.නිවසේ කාමරයක් තුළ ලනුවක ආධාරයෙන් ඔහු ගෙල වැලලාගෙන ඇත. අසල නිවසක කාන්තාවක් ඔහු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලීසියට මේ පිළිබඳව දැනුම්වත්කර ඇත.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ බහින් බස් වී  මොහු සිය දිවි නසා ගෙන ඇති බවටයි පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ  සොයුරන් තිදෙනකු හා සොයුරියකද මීට පෙර සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය අනාවරණය කර ගෙන ඇත.එම පවුලේ පස්වැන්නා ලෙස මොහු සියදිවි හානි කර ගෙන ඇත.

මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරෙකු හා සොයුරියක තලාව ප්‍රදේශයේදී දුම්රියට පැණ සියදිවි නසාගෙන ඇති බවත්, මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙල වැලලාගෙන තවත් සොයුරෙකු සියදිවි නසා ගෙන ඇති බවත්, මෙම තරුණයා ගෙල වැළලාගත් කාමරයේම ඔහුගේ සොයුරෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලීසියට අනාවරණය වී ඇත. ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර  සියදිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.



Recommended Articles