එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82ක් ආපසු ප්‍රති නැව්ගත කෙරේ


ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් , තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් , කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 03කින් යළි ආපසු එංගලන්තය බලා අද දින පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත සහ මේ පිළිබඳව රේගුව විසින් පවත්වනු ලබන විධිමත් රේගු පරීක්ෂණයකින් ද මෙම අපද්‍රව්‍ය බහාලුම් ආපසු එංගලන්තය වෙත යැවීමට නියෝග ලැබී තිබේ .

ඒ අනුව කොළඹ වරායේ ගුදමක ගබඩා කර තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුම් 112 අතරින් , මෙසේ එම බහාලුම් 82 ක් අද දින අලුයම ආපසු එංගලන්තය බලා ප්‍රති නැව් ගත කර තිබේ .

ඒ අනුව MV EVER GOVERN නැවෙන් මෙම අපද්‍රව්‍ය බහාලුම් 65 ක් ද ,MV MSC QINGDO නැවෙන් අපද්‍රව්‍ය බහාලුම් 07 ක් ද අද දින අලුයම  පිටත් කර යවා ඇති අතර , MV MSC LEANNE නැමැති නැවෙන් තවත් මෙම බහාලුම් 10 ක් අද දින රාත්‍රීයෙත් පිටත් කර හැරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

මේ ආකාරයට ඉකුත් 10/30 දින ද කොළඹ වරායේ තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20 ක් එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කර තිබූ අතර , තවත් මෙවැනි අපද්‍රව්‍ය බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගබඩා කර තිබේ .

මෙම ප්‍රති නැව් ගත කිරීම රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ(සමාජ ආරක්ෂණ ) එස්.පී.අයි.

බාලසූරිය , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ආනන්ද ඊශ්වරන් , රේගු අධිකාරී අෂොරොෆ් සම්සුදීන් , සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණි ජයසුන්දර සහ කේ.කේ.එම්.සලීම් යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි .

 



Recommended Articles