ඌරෙකුගෙන් ලබාගත් වකුගඩුවක් රෝගියෙකුගේ ශරීරය තුළ දින 271ක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර, එය වාර්තාගත දීර්ඝතම කාලසීමාව බව ඇමරිකානු වෛද්‍යවරු පවසති.
මෙම බද්ධ කිරීම තමාට "බලාපොරොත්තුවක්" ලබා දුන් බවත්, ඩයලිසිස් (dialysis) යන්ත්‍රයක් මගින් රුධිරය පිරිසිදු කරගැනීම සඳහා මාස ගණනාවක් රෝහලට යාමේ අවශ්‍යතාවයෙන් තමා මුදවා ගත් බවත් ටිම් ඇන්ඩෲස් පැවසීය.
මිනිස් වකුගඩුවක් බද්ධ කිරීම සඳහා ලැබෙන තුරු, ඌරන්ගේ අවයව "තාවකාලික විසඳුමක්" (bridge) ලෙස භාවිතා කළ හැකි බව 'මාස් ජෙනරල් බ්‍රිගම්' (Mass General Brigham) රෝහලේ වෛද්‍ය කණ්ඩායම පවසයි.
කෙසේ වෙතත්, අවසානයේදී එම ඌරු වකුගඩුව අක්‍රිය වීම නිසා එය ඉවත් කිරීමට සිදු වූ අතර, ඒ අනුව නව පරිත්‍යාගශීලියෙකු හමුවන තෙක් ඇන්ඩෲස්ට කෙටි කාලයක් සඳහා නැවතත් ඩයලිසිස් ප්‍රතිකාරය ලබා ගැනීමට සිදුවිය.
බද්ධ කිරීම සඳහා අවශ්‍ය අවයව හිඟ වීම හේතුවෙන්, වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් වෙනත් සත්ව විශේෂවල අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ ක්‍රියාවලිය (xenotransplantation) පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටිති.
ඇමරිකා එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 100,000ක් පමණ වකුගඩුවක් බලාපොරොත්තුවෙන් සිටින නමුත්, වසරකට සිදු කෙරෙන්නේ බද්ධ කිරීම් 25,000ක් පමණි. එක්සත් රාජධානියේ ද පුද්ගලයින් 7,000කට අධික සංඛ්‍යාවක් වකුගඩු බද්ධ කිරීමේ ලැයිස්තුවේ රැඳී සිටිති.
එම ලැයිස්තුවේ ඉහළටම පැමිණීමට වසර හතක් ගත විය හැකි බවත්, නමුත් ඩයලිසිස් ප්‍රතිකාරය මත රෝගියෙකු සාමාන්‍යයෙන් ජීවත් වන්නේ වසර පහක් පමණක් බවත් ඇන්ඩෲස්ට දැනුම් දී තිබුණි.


