ලංකා සීනි සමාගමේ සෙවනගල සීනි කර්මාන්තායතනට උක් ගස් සැපයූ උක් ගොවීන්ට සහ ට්‍රැක්ටර් රථ හිමියන්ට මාස කිහිපයක් තිස්සේ මුදල් නොගෙවීම පිළිබඳව විරෝධය පළ කරමින් උක් ගොවීහු පිරිසක් (26) වෙනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
සෙවනගල ඩංඩුම හංදියේදී විරෝධතාවය දැක්වූ පිරිස පාගමනින් සෙවනගල සීනි කර්මාන්ත ආයතනය වෙත යාමට උත්සාහ කිරීමේදී පොලීසිය එය වළක්වාලූ අතර පෙළපාලි ආකාරයෙන් නොගොස් පුද්ගලයින් තනි තනිව කර්මාන්ත ශාලාව අසලට යන ලෙස පොලීසිය උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව උද්ඝෝෂණකරුවන් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන දොරටුව අසලට ගිය අතර ගේට්ටුව ඔවුන් සඳහා විවෘත වූයේ නැත.
පසුව එතැනද සටන් පාඨ කියමින් පිරිස උද්ඝෝෂණයේ නිරතවී පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටියහ. නමුත් ප්‍රධාන පෙළේ පාලකයින් කර්මාන්ත ශාලාවේ නොසිටි නිසා ඊට අවස්ථාවක් නොලැබිණි.
ගොවීන්ට සහ ට්‍රැක්ටර් රථ ගොවි හිමියන්ට කර්මාන්ත ආයතනය මඟින් රුපියල් ලක්ෂ දෙදහස් පන්සියයක් ගෙවීමට ඇති හෙයින් තමන්ට ලැබිය යුතු මුදල් කඩිනමින් ලබා නොදුණහොත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් රජයට එරෙහිව ගෙනයන බව ඔව්හු ප්‍රකාශ කළහ.
උද්ඝෝෂණකරුවෝ පසුව සාමකාමීව විසිර ගියහ. ගොවිසෙත ඒකාබද්ධ උක් ගොවි සුභ සාධක සංගමය මඟින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
මොණරාගල සුමනසිරි ගුණතිලක