ඛනිජ තෙල් සංස්ථාවේ රු.බිලියන 884ක ණය ගෙවන්න ඉන්ධනවලට රු.50ක බද්ධක් එකතු කර ඇති බව අනාවරණය වෙයි.
කංචන විජේසේකරගේ සාක්කුවට යන එක නවත්වලා, බදු ඉවත් කරලා මේ රටේ ජනතාවට කවද්ද සහනය දෙන්නේ? - පා.ම. දයාසිරි ජයසේකර
මේකේ ප්‍රභේද දෙකක් තිබෙනවා, ප්‍රිමියම් එක හරහා සාක්කුවට යන එක හැර බදුවල සල්ලි සාක්කුවට යන්න බෑ - බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
ඛනිජ තෙල් සංස්ථාවේ ණය රු.බිලියන 884ක් මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇති බැවින් එම ණය ගෙවීම සඳහා ඉන්ධනවලින් රු.50ක බද්ධක් එම ණය ගෙවීම සඳහා අයකර ගන්නා බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (22දා) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එමෙන්ම ඉන්ධන අලෙවියේදී වංචාවන් සිදුවී තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බැවින්, එලෙස වංචාවක් සිදුවී තිබේද? නැද්ද? යන්න මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි - 2023.09.21 සිට 2024.09.20 දක්වා ඛනිජ තෙල් අලෙවි කිරීමෙන් රජය විසින් උපයන ලද බදු ආදායම රුපියල් මිලියන 284,431.8යි. එම කාලසීමාව තුළදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපයන ලද ලාභය රු.මි. 52,312.23යි. ඉන්ධන අලෙවියේදී වංචාවන් සිදුවී තිබේද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී. එම විමර්ශන අවසානයේ වංචා සිදුවී තිබේද නැද්ද යන්න පිළිබඳ තීරණය වේ. එබැවින් මෙම අවස්ථාවේ වංචාවන් සිදුවී ඇත්ද? නැත්ද? පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර – මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට විශේෂයෙන් අපේ ජනාධිපතිතුමත්, හඳුන්නෙත්ති මහතාත් කිව්වා කරුණු ගණනාවක්. මේ සෑම ලීටරයකින්ම අති විශාල මුදලක් කංචන විජේසේකර මහතාගේ සාක්කුවට යනවා කියලා සෑම මාසයකම මිල සූත්‍රය දැම්මා. ඒත් අප්‍රේල් මාසයේ ඉඳලා වෙබ් අඩවියට දාලා නෑ. ඔබතුමන්ලා ජනතාවට කිව්වනේ මේවගෙන් හොරකම් කරනවා කියලා. ලීටරයකින් මෙච්චර ගාණක් ගහලා තියෙනවා කියලා කිව්වනේ. ඇත්තටම අද පෙන්වන්න තිබුණා ඒ කාලයේ තත්ත්වය මේකයි. මේ කාලයේ තත්ත්වය මේකයි කියලා. ජූනි මාසයේ ගොඩබෑමේ මිල ගණන් මං ළඟ තියෙනවා. පෙට්‍රල් 92 ලීටරයකට රු.161 සත 18යි. ඒත් රු.120යි සත 42ක් බදු වශයෙන් ඔබතුමන්ලා මේ රටේ ජනතාවගෙන් ගන්නවා. ඒක තමයි කංචන විජේසේකර මහත්මයාගේ සාක්කුවට යනවා කියලා කිව්වේ. පෙට්‍රල් 95 ලීටරයක් ගේන්නේ රු.154යි සත 39යි. ඔබතුමන්ලා බදු ගහනවා රු.145 සත 29ක්. ලංකා ඔටෝ ඩිසල් ගේන්නේ රු.185 සත 67යි. රු.97 සත 47ක් බදු ගහනවා. සුපර් ඩීසල් රු.157යි සත 84බාන්නේ. රු.120යි සත 60ක් බදු ගහනවා. මේ බද්ද අඩු කරනවා කියලා කිව්වා. කවද්ද මේ සහනය මේ බදු ඉවත් කරලා මේ රටේ ජනතාවට දෙන්නේ? කවද්ද මේක කංචන විජේසේකර මහත්මයාගේ සාක්කුවට යන එක නවත්වන්නේ?
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි - මේකේ ප්‍රභේද දෙකක් තිබෙනවා. එකක් තමයි ප්‍රිමියම් එක හරහා සාක්කුවට යන එක. ඒ ඇරෙන්න බදුවල සල්ලි සාක්කුවට යන්න බෑ. ඒක ආණ්ඩුවටනේ යන්නේ. ඒ අනුව ප්‍රිමියම් එක මෙට්‍රික් ටොන් එකට ඩොලර් 35ට 37ට තිබුණු එක දැන් ඩොලර් 05ට අඩුයි. එතකොට හිතාගන්න පුළුවන්නේ කෝකද සාක්කුවට ගියේ කියලා. රු.බිලියන 884ක් අපි ආණ්ඩුව ගන්නකොටත් තිබුණ ණය රජයට පවරා ගත්තා. ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයට පවරා ගත්ත ණය ටිකක් තියෙනවා. ඒ වෙනුවෙන් රු.50ක බද්දක් මේකට දාලා තියෙනවා ඒ ණය ගෙවන්න. දැන් භාගයකට ආසන්නයෙන් ගෙවලා තියෙන්නේ. ඒක ගෙවලා ඉවර වුණාම අපිට පුළුවන් වෙයි ඒ බද්ධ ඉවත් කරලා දාන්න. ඒ ඇරෙන්න අනිත් ඒවා රජයේ නියමිත බදු විතරයි තියෙන්නේ.