ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ලංකාවේ සංචාරයක


ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් විවේක් රාම් චෞද්‍රි මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා අද (01දා) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු සමග ඉන්දීය ගුවන් හමුදාවේ තවත් උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පැමිණ සිටියහ. මෙම පිරිස 05/01 දින දහවල් 12.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ඇතුළු පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

කළාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම , ඒකාබද්ධ පුහුණුවීම් , තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආවේක්ෂණ මෙහෙයුම් පුළුල් කර ගැනීම මෙම ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීවරයාගේ සංචාරයේ අරමුණු බව සදහන් වේ .

මෙම ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ඇතුළු පිරිස , ශ්‍රී ලංකා සංචාරය නිම කර 05/06 දින පිටත්ව යාමට නියමිතය.



Recommended Articles