ඉන්දියාවේ සිටි ලාංකික සිසුන් 101 දෙනෙකු දිවයිනට


ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් අද (23) දින පස්වරුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු  ලැබීය .

එම සිසුන් අද දින පස්වරු 2.26 ට ඉන්දියාවේ අමිර්තසාර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1146 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එම සිසුන් ඔවුන් පැමිණි ගුවන් යානය තුළ සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව අසුන් ගන්වා තිබුණි .

එමෙන්ම මෙම සිසුන් ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ  පර්යන්ත ගොඩනැගිල්ල තුළට පිවිසීමත් සමග , ඔවුන් ගෙන ආ ගමන් මලු සහ බඩුබාහිරාදිය සමග එම සිසුන් ද  විෂබීජහරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයින් විසින්  ලක් කෙරුණි .

ඉන් අනතුරුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම සිසුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , කොරෝනා රෝග ලක්ෂණ මොවුන් වෙත තිබේදැයි සොයා බලන්නට විය .

ඉන්පසුව මෙම සියලුම  සිසුන් ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය .



Recommended Articles