ඉන්දියාවේ සිට මගින් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම  ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසීය .

මෙම කොරෝනා ආසාදිත සමයේ ඉන්දියාවේ සිට ලෝකයේ කිසිදු රටක් වෙත ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවා තිබේ .

එහෙත් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස මෙරටට පැමිණීම සදහා , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ලබා ගෙන ඉන්දීය ගුවන් සේවය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව , ඒ බැව් ඉන්දීය ගුවන් සේවය විසින් ඉන්දීය රජය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට මෙසේ මෙරටට පැමිණීමට අවසර හිමි වී ඇති බව සාරානාත් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය .

අද දින අලුයම 12.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-273 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට අමතරව , ඉන්දීය ජාතික ගුවන් මගීන් 16 දෙනෙකු ද පැමිණ තිබූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බව ද සාරානාත් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය .

එසේම මෙම ගුවන් යානය අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් මගීන් 169 දෙනෙකු රැගෙන පිටත්ව ගොස් තිබේ .

මෙසේ පිටත්ව ගිය ගුවන් මගීන් අතර ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික ගුවන් මගීන් ද සිටිය බව සාරානාත් පීරිස් මහතා පැවසීය .

එම ගුවන් මගීන් පිරිස මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 09 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 160 ක අසුන් ගෙන සිටිය බව ද සාරානාත් පීරිස් මහතා පැවසීය .

 

 



Recommended Articles