ඉන්දියාවේ බැංගලෝර් වෙත ශ්‍රී ලන්කන් ගුවන්යානයක් පිටත්ව යයි


ලොව පුරා පැතිර පවතින කොවිඩ් - 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1172 දරන මෙම විශේෂ ගුවන් යානය අද දින උදෑසන 9.10 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියේය .

මෙම ගුවන් යානයෙහි කිසිදු ගුවන් මගියෙකු ගමන් නොගත් අතර , ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 08 කු පමණක් එහි ගමන් ගත්හ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සදහා ඒ.- 321- 251එන් එයා බස් වර්ගයේ ගුවන් යානාවක් යොදවා තිබුණි .

ලොව පුරා ගුවන් ගමන් අත්හිටුවා , ගුවන් තොටුපළවල් වසා දමා ඇති වර්තමාන තත්ත්වය යටතේ මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය තම ආපසු ගමන සදහා ද අවශ්‍ය වන ආහාර පාන මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළේ සිට රැගෙන යෑම සිදු කර තිබේ .

 මෙම ගුවන් යානය පෙරවරු 10.30 ට බැංගලෝර් වෙත ළගා වීමට නියමිත අතර , එය දහවල් 12.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .



Recommended Articles