ඉදිරි දිනවලදී ලාංකිකයින් 825ක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් , එම රටවල සිට යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයන් 825ක පමණ ප්‍රමාණයක් , මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .

ඒ අනුව හෙට (11) දින පිලිපීනයේ මැනිලා නුවර සිට ද , (13) දින මාලදිවයින මාලේ නුවර සිට ද , (15) දින පකිස්තානයේ ලාහෝර් නුවර සිට ද විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 03 ක් මගින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට නියමිතය .

ඊට අමතරව ඉන්දියාව වෙත යෑමට නොහැකිව මෙරට තුළ තවදුරටත් රැදී සිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් (15)  දින බැංගලෝර් නුවර වෙතත් , (22)  දින නවදිල්ලි නුවර වෙතත් , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් රැගෙන යෑමට නියමිත බව ඉන්දීය ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මේ අතර අද (10) දින දහවල් 12.45 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් එරට සිට ගුවන් මගීන් 09 දෙනෙකු පැමිණ තිබේ .

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි.



Recommended Articles